Thursday, April 07, 2011

අපේ ගුරුතුමා.....

           තම තමන්ගේ පාසල් කාලය කියන්නේ අපිට කවදාවත් අමතක කරන්න පුළුවන් කාලයක් නෙවෙයිනේ.
   එහෙම නේද?...

             කොල්ලෝ එක්ක පිස්සු කෙලපු ඒවා.පාරේ යනකොට කෙල්ලොන්ට කොලොප්පන් කරපු ඒවා.පන්තියේ අන්තිම පේලියට වෙලා මිස්ලා කියන කියන දේට හරහට කියපු ඒවා......මතක් වෙනකොට නිකන් ඇග දගලනෝ වගේ..ලබන ආත්මෙදි මිස මේ ආත්මෙදි නම් ආයි ස්කොලේ යනවා බොරු.

          ඉතින් අවුරුදු 13 ක ස්කෝලෙ කාලේ අපිට වැඩිපුරම මතක හිටිය ගුරුතුමා හෝ තුමිය කවුද....?
 පළමු ශ්‍රේණියේ උගන්නපු බටුවන්තුඩාව මිස්ද...? අපෝ නැ... එයා හරි වසයි.මට ඕන ඕන වෙලාවට ටොයිලට් යන්න දුන්නෙත් නැ.අම්මට පන්තිය ගාව ඉන්න දුන්නෙත් නැ.එයා නම් නෙවෙයි....

     එහෙනම් දෙවෙනි ශ්‍රේණියේ නයනා මිස්ද...අපෝ මොන පිස්සුද....මං මගේ හොදම යාළුවගේ ඇහැට ඉරට්ටකින් ඇන්නයි කියල මට හොදටම ගහල තාත්තත් එක්කන් එන්න වුනා....එයා නෙවෙයි....

             තුන් වෙනි ශ්‍රේණියේ බන්ධුල සර් ද? එයා නම් ටිකක් හොදයි.ඒ වුනාට මායි මගේ යාළුවයි කතා කරනවා වැඩියි කියල අපිව වෙන වෙනම දැම්මනේ...එයත් එපා....

      හතරේ පංතියේ සුරාජ් සර්ද...?  ම්ම්ම්ම්ම්ම් ....ම්ම්ම්ම්ම්.... සර් නම් හොදයි...අපිට මුලින්ම පෑනෙන් ලියන්න දුන්නේ සර් නේ..ඒ වුනාට ගෙදර වැඩ දෙනවා මෙච්චර විතර ගොඩක්....මට හවසට "සුර වීර සෑම්'' බලන්න වෙන්නෙත් නැ.අම්මට කියල තිබූනලු මාව උනන්දු කරවන්න, නැත්තම් විභාගේ පේල් වේවි කියල...
අනේ එයා දන්න දේවල්.........


      එහෙනම්  ශිෂ්‍යත්ව පංතියේ ඩයස් සර්ද...?  අපෝ නැ,...එයාගේ මුණ බලන්නත් බයයි.කොයි වෙලෙත් ඔරවා ගෙනමයි.මතකනේ මායි එහා පංතියේ තඩියයි ගහගත්තම පැය දෙකක් විතර දන ගස්සල තිබ්බ....
මොනවා වුනත් ශිෂ්‍යත්වේ එච්චරවත්  ලකුණු ගත්තේ සර් හින්ද තමයි......


          හයේ පංතියේ අයිරාංගනී මිස්වත්ද....? නැ නැ....එයා කොයි වෙලෙත් නිදිනේ...එයා පන්ති බාර වුනාට වඩා හොදයි...අපේ ගණන් මිස් පන්ති බාර වුනා නම්.ඒ මිස් හොදට තේරෙන්න ගණන් කියල දෙනවත් එක්ක..අනික මිස් ලස්සනයිනේ.....මොකක්ද ඒ මිස් ගේ නම ,,,,,, ෂිට්.....@!

          හතේ පංතියේ පුෂ්පමාලි මිස් ද ? අනේ මතක කරන්න එපා...එයා දන්නා ගණනක් නැ.අපිට ගණන් එපා කළා...අර ලස්සන මිස්ම ඉදිය නම ඉවරයි.අර පීටෙන් ආව සෞඛ්‍ය උගන්නන ලස්සන සුදු මිස් නම් මාත් එක්ක හොදට කතා කලා.ඇයි එතකොට විද්‍යාව උගන්නපු ශිරෝමි මිස්.එයත් හරි හොදයි....
  ශිරෝමි මිස්ට පේන්න වැඩියෙන් ලකුණු ගන්න ගිහිල්ල කවදාවත් නැතුව මං පංතියේ තුන් වෙනියා වුනානේ...
   තාත්ත මට වීඩියෝ ගේම් එකකුත් අරන් දුන්න ඒ නිසා....

    අටේ පංතියේ වික්‍රමාරච්චි මිස්....? අපෝ එයත් පංතියේ නිදා ගන්නවනේ...අන්තිමට මං ක්ලාස් කට් කලානේ.
දෙමල උගන්නපු මිස් නම් මරු.එයා කියන ඒවා අපිට තේරේන්නේ නැ.අපි කියන කුණුහරප මිස්ට තේරෙන්නේ  නැ..අයියෝ මිස්ට දීපු වදයක්.....



             නමයේ පංතියේ ජයරංග සර්ද...? අනේ එයාගේ ඉංග්‍රීසි හොදයි සුද්දන්ට.ඒවා කාටද තේරෙන්නේ?...
  ඒ වුනාට ඉංග්‍රීසි ඇරෙන්න අනිත් ඒවාට ලකුණු තිබිල මං දෙවෙනියා වුන නිසයි මං පාඩුවේ ඉදපු නිසයි මාව පන්ති නායකයා කලේ ඒ සර්.නායකයා වුනාට වඩා හොදයි..නිකන් ඉදියානම්. ගයාන්ලගේ සෙට් එක ගෙනාපු වල් පත්තරේ ට අන්තිමට මට නේ බැනුම් අහන්න උනේ.මමත් බලපු එක වෙනම දෙයක්...ඒ වුනාට....

            දහයෙයි එකොලහෙයි ඉදිය කමල මිස්ද..?    ම්ම්ම්ම් ම්ම්ම්ම් ...ම්ම්ම්  මිස් නම් ගොඩක් හොදයි.සිංහල නම් හොදට කියල දුන්න.හැබැයි පොඩ්ඩක් නිදිමතයි.වෙන පීරියඩ් එකක් කට් කලත් මිස්ට ආරංචි වෙනවනේ.කවුරු කියනවද මන්ද.....අපරාදේ මිස් වෙන ඉස්කෝලෙකට මාරු වෙලා ගියාද කොහෙද ලගදී....

        
     මගේ පෙරවදන දිග වැඩිද මන්ද......
  
 මං ස්කොලෙන් අවුට් වෙලා අවුරුදු දෙකකට වැඩ වැඩිනොවන නිසා ද කොහෙද මගේ හිතට වධ දෙන මගේ හිත අවුල් කරන ගීත දෙකක් මාව මේ පොස්ට් එක ලියන්න පෙලබෙවුව...
  
   එයින් පළමු ගීතය තමයි , සුනිල් එදිරිසිංහ මහතා ගායන කරන  "පැන මඩ කඩිති.." කියන ගීතය.
මහින්ද චන්ද්‍රසේකර විසින් රචිත් මේ ගීතයේ සංගීත නිර්මාණය කර තිබෙන්නේ රෝහණ වීරසිංහයන් විසිනි.ගීත රචකයා මුලිකවම සිතුවමට නගා ඇත්තේ දරු පරම්පරා කිහිපයකටම ජීවිතයේ පාර කියා දුන් ගුරුවරයෙකුගේ ජීවන රටාව ගැනයි.ඔහුගෙ තනිකම ගැන මෙන්ම අයාලේ ගිය දරුවන් ගැන ඔහුගේ ඇති දොම්නස ද මෙහි මනාව පිලිබිබු වේ.



           පැන මඩ කඩිති වැව්තාවල වැහි කාලේ
           පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ 
           සිප් කිරි පෙවූ මුසිලයන් උඩු මාලේ 
           අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ................


           
          සාමා අමර විකුණති බස් පොලේ කජු
          කුමාරොදේ පිටු දන දෙති එයින් මතු 
          උගතමනා ශිල්පය පිල්කඩ නොපැතූ 
           වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතු


           
          රන්මසු පට පිළි අභරණ උරණ වෙලා
          සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා
          ගුරු නිවහනේ කදුලට උල්පතක් වෙලා
          ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා............


          ගීතය මෙතනින් Download


     දෙවෙනි ගීතය තමයි සෝමතිලක ජයමහ සහ නම නොදන්නා ගායිකාවක විසින් ගායන කරන "පියමන් කෙරුවෙමු..." කියන ගීතයයි.
       සෝමතිලක ජයමහ කියන්නේ මිනිසුන්ගේ හදවතටම ගීත ගැයූ ගායකයෙකි.ඔහුගේ බොහෝ ගීත ඔහු විසින්ම රචනා කොට ඔහු විසින්ම සංගීතවත් කොට ගායන කරනු ලබයි.එබැවින් මේ ගීතයද එවැනිම නිර්මාණයක් යයි මම සිතමි.
      මේ ගීතයේ මා වඩාත්ම ප්‍රිය කරන කොටස වන්නේ,
  "නෙත කදුලින් හස කැනින් මුවා කල 
    සොදුරු හැගුම් පුරවා මනමත් කල
     මගේ කෙළිලොල් විය ගෙවුණු වගයි.....
    මා හැදු පාසල් මවුනි දයාදර......"  යන කොටසයි.

      සැබවින්ම දෙපා වාරු වුයේ නැත ඔබ හැර යන්නට ....මවුනි පාසල්...........




                පියමන් කෙරුවෙමු මහ ඔය මැද්දෙන්
                 පෙම් බස් දෙඩුවෙමු උයන් කොනක ඉද
                ශිල්ප උගත්තෙමු  නැණ ලබා ගත්තෙමු 
                දෙපා වාරු නැත ඔබ හැර යන්නට..............


               නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයි
               කෝල හැගුම් කෙලි කවට සිනාවයි.
               මල් නැටුමයි කල ගෙඩි නැටුමයි 
               මගේ දෑස තුල යලිත්   ඇදේවිද ..............


               නෙත කදුලින් හස කැනින්  මුවා කල
              සොදුරු හැගුම් පුරවා මනමත් කල
              මගේ කෙළිලොල් විය ගෙවුණු වගයි.....
               මා හැදු පාසල් මවුනි දයාදර...

   ගීතය මෙතනින් Download

13 comments:

  1. අඩේ උඹලට හයේ පංතියේදි ගනං ඉගැන්නුවෙ "ෂිට්" කියල ටීච කෙනෙක්ද ??? ඒ ටීචගෙ මුල් නමද ?? වාසගමද ???

    ඉස්කෝලෙං අයිං වෙලා අවුරුදු දෙක පනිද්දි තාමා මලේ අපි කාට කාටත් ඉස්කෝලෙයි . . . අපිව මරං කන්න හදපු (අපි හිතපු විදියට) ගුරුවරුංගෙයි අගේ තේරෙන්නෙ. අපිට කෙමිස්ට්‍රි උගන්නපු වි** මිස්ට මාව පෙන්නන්න බෑ . . . මොකෙක් හරි මම නැති වෙලාවක හරි මගෙ නම මිස්ට ඇහෙන්න කිවුවත් යකා වැහුන වගේ බනිනව . . . දවසට සැරයක් කොහොම හරි මාව පංතියෙං එලියට දානව . . . ඒත් විබාගෙට යන්න කලිං මම මිස්ට වඳිනකොට "අනේ අයෙ කවද මේ වගේ කොල්ලෙකුට බනින්නද" කියල අඬ අඬ මගෙ ඔලුව අතගෑව . . . එදා තමයි දන්නෙ ටීච මගෙත් එක්ක වලි දගෙන තියෙන්නෙ මගෙත් එක්ක තරහකට නෙමේ කියල . . . .

    ReplyDelete
  2. මං තුනේ පන්තියේ ඉද්දී දඟ වැඩියි කියල දඬුවමට මව කෙල්ලෝ මැද්දෙන් ඉන්දෙවුව.. දවසෙන් මම උන්ගේ හොඳම ගජය වෙලා ටීචර්ගේ ඉසරදේ වැඩි උනා. අන්තිමට මාව අපහු දැම්ම කොල්ලෝ අතරට ..

    ReplyDelete
  3. හපෙ හප්පෝ එක වසරදි මාවත් දැම්මේ ඉදපු වසම මිස්ගාවටනේ පින්සිපල් සර් මම වදින්න ගෙනාපු බුලත් අතෙන් එයාට ගැහුවලු ඉක්කෝලෙට ඇතුල් වෙන්න ආපු දවසේ.හලේ එයා මට කියල වැදුන් ගන්න හිටියේ නැත්තම් කරදර මුකුත් නෑනේ.

    ReplyDelete
  4. ස්තුතියි මචන් අයෙත් අපිව ඉස්කෝලේ කාලෙට එක්කන් ගියාට ‍‍‍..... මට මතක් වෙන්නේම මං කඩල බේසම අරන් කඩල විකුණපු හැටි

    ReplyDelete
  5. @ඕනය-නැ අයියේ...මට පස්සේ මතක වුණා නම.මිස්ගේ නම "තරංගා"
    ඇත්තටම අයියේ ස්කොලේ ගාවින් ගියත් ඇති දවසම මුඩ්
    ගහන්න.

    ReplyDelete
  6. @lankapriya-එල එල අයියේ..

    @Dasith-පස්සේ කාටවත් කියන්න නැතුව ඇති වදින්න කියල.....

    @චැප්-ආයි කොට කලිසම ගහන් ස්කොලේ යමු ද...?

    ReplyDelete
  7. චැ චැ චැ නෙමෙයි පිසාචචචච යෝ වැ වැ වැ

    ReplyDelete
  8. @වැප්-හරි හරි...මේ වයසට ඇස් පේනවා හොරයි......!!

    ReplyDelete
  9. මල්ලී උඹ අවුට් වෙලා අවුරුදු 2යි. මම නම් අවුට් වෙලා දැන් අවුරුදු 7ක් 8ක් වෙනවා. ඔය සින්දු දෙක විතරක් නෙවෙයි තව සින්දු කීපයක්ම තියනවා මගේ හිතත් අවුල් කරන. පැන මඩ කඩිති සින්දුව ඇහෙද්දි නම් සුදු සරමයි කමිසයකුයි ඇඳගත්ත ගුරුවරයෙක් ගම මැදින් ඉස්කෝලේ යනවා මැවිලා පේනවා. මල්ලි අහල ඇති සුනිල් එදිරිසිංහගේ තවත් සිංදුවක් තියනවා " ඉස්සර මං ගිය පාසල ඇරිලා පුංචි පැටව් පෙරහැරේ එනවා - හේවිසි ගහගෙන හූ හඬ දීගෙන ලන්ද පුරා දුවපැන එනවා". ඔය සින්දුව අහනකොට අපි ඉස්සර ඉස්කෝලේ ඇරිලා පිස්සු නට නට එන හැටි මැවිලා පේනව. ඒ විතරක් නෙවෙයි ඉස්කෝලයක් ඇරිලා බොහෝම ලස්සනට ගමක් මැද්දෙන් පොඩි උන් රෑනක් දුවන චිත්‍රයක් මැවෙනවා. හැබැයි ඔය සින්දුවනම් ගහට කොලට හිත ඇති පොඩි එකෙක් ගැනයි. එහෙම පොඩි උන් නම් ඉතින් බේතකටවත් හොයාගන්න ඉන්නවද මන්ද දැන්නම්..... අර ඇන්ඩි අයියා පලවෙනි කොමෙන්ට් එකේ කියලා තියන කතාවට මමත් අත ඉස්සුවා ඕං......

    ReplyDelete
  10. මාත් ඊයේ අත උස්සපු ගමන්මයි...!!

    ReplyDelete
  11. අනේ ඇයි බං මේ හැමෝම ඉස්කෝලෙ ගැනම පෝස්ට් දාන්නෙ. ඊයේ පිස්සි දාල තිබ්බ එකක්. අද උඹ. මමත් අද සෑහෙන කාලෙකට පස්සෙ ඉස්කොලෙ පැත්තෙ ගියා. දකිද්දි මාරම දුකයි බං. ආයෙ කවද යන්නද? :(
    ගොඩයගෙ කියමන මමත් 100%ක්ම අනුමත කරනවා අත් දෙකම උස්සලා. :)

    ReplyDelete
  12. @ChAnDiKa-මොනවා කරන්නද අයියේ.....
    දුක තමා රංජනී....
    හිතුන ලිවුවා....දුක අඩු වෙයිද බලන්න...

    ReplyDelete