Friday, April 27, 2012

ජීවිතේටම මඩක් ගැහුවමයි

අවුරුදු උත්සවෙත් ඉවරයි එහෙනම්.......දැන් ඉතින් බලන් ඉඳපල්ලකො ඊලඟ අවුරුද්ද වෙනකම්.......
      එදා ඉවර වෙලා එන ගමන් ඕනය අයිය බලන්නත් ගියානේ.අපි කට්ටිය යනකොට ලෙඩා නෑ.වෙන ලෙඩ්ඩු ටිකක් එහා පැත්තෙ ඇදකට වෙලා පැත්ත දාල ඉන්නව.අවලම් පැට්ටට්යි,අභීත අයියයි,පොඩි මෑනුයි,රොබිනුයි.මාත් එක්ක ගොඩය අයියයි,වෙනී අයියයි,ජිංගියයි,ජේ.ඩී ආවෙ.අපි නම් හොද සයිස් දොඩම් ගෙඩි ටිකකුයි,ඇපල් ටිකකුයි ගෙනාව.අපි ඇහුවා මොනවයි ගෙනාවෙ කියල..මෙච්චර වෙලා ඇස් ඇරන් නිදාගෙන ඉඳපු අභීතයිය නැගිටල මල්ලක් අවුස්සල පෙන්නුව හොඳ රතු පාට වයින් බෝතලෙකුයි,ප්ලේන්ටි පාට තව බෝතලෙකුයි.(අපි නම් දන්න එකක්යැ)ඔන්න ටිකකින් ඕනය අයිය එනව කලිසමත් උස්ස උස්ස කකුස්සියෙ ඉඳන්.
        එක සේලයින් බෝතලයක් ඉවර වෙලා ඊලඟ එක දාන්න ආපු නර්ස් අක්ක තව පොඩ්ඩෙන් හැරිලත් යනව ඉඳපු සැට් එක දැකල.එයා කියනව කට්ටිය වැඩියි,ලෙඩාට අමාරු වෙන නිසා ජනෙල් දෙකයි දොරවල් දෙකයි ඇරල තියන්න"කියල.
   අපි ජනෙල් දෙක ඇරියා.එයාම දොරත් ඇරගෙන ගියා.සැට් එක කොච්චර හෙමින් කතා කලාද කිව්වොත් විනාඩියකින් විතර තව නර්ස් කෙනෙක් ඇවිල්ල අපිටත් ඔරවල දොරත් වහල ගියා."ඕනය අයියා පව්ය"මොකද අපි ගියාම එතන තත්වෙ කෝම තියෙන්න ඇත්ද කියල හිතෙනකොට දුකය.
                       අපි ගියේ ලෙඩා බලන්න බව හැබැයි.ඒත් වෙනී අයිය නම් ඉස්පිරිතාලෙට ඇතුල් වෙච්ච වෙලේ ඉඳන් හොර ගල් ඇහිලුවෙ වෙන වැඩකට.ඔන්න ගොඩය අයියා සාක්ෂි.පලවෙනි තට්ටුවෙ විමසීම් කවුළුව ගාව ඉඳපු අක්කලගෙන් රූම් නම්බරේ අහමුයෙයි කියල මැරෙන්න හැදුව.ඊට විනඩි පහකට කලින් අපිට රූම් නම්බරෙත් කීවෙ මිනිහමයි කියල අමතක වෙලා.එතනින් ඇදගෙන ලිෆ්ට් එකට නැගල දෙවෙනි තට්ටුවෙ නැවත්තුවා.ඔන්න ලස්සන දුවෙකුයි වයසක තාත්තෙකුයි ගොඩ වෙන්න ආව.ඉස්සරහම ඉඳියෙ වෙනී බ්‍රදර්.දාපු පැණි හිනාව කොච්චරද කියනව නම් අර අසරණ තාත්තට දුවවත් අරන් පඩි පෙළින් යන්න වුණා.කැතයි හොඳේ......!!!!!
මේ ජීවිතේටම මඩක් ගැහුවමයි.වෙනී අයිය පල්ල.



        ඒක ගැනම නෙමෙයි ඉතින් කියන්න ආවෙ.ඒ වුණාට කට කහන්න ගත්තනේ.අපි හෙට පොඩි ගමනක් යනව,ඒක ගැන කියන්නයි ආවෙ.අපි කිව්වෙ අපේ බැජ් එකේ එවුන්.හරි හරි...ඕකට තනි වචනෙකුත් තියෙනව."බැජ් ට්‍රිප්" එක හලො......
   ආහ්......යන්නේ නම් සීගිරි දඹුලු.කණ්ඩලම වැවට ගිහිල්ල එතනත් පොඩි ෆන්ෂන් එකක් ගන්නයි ඉන්නේ.(කණ්ඩලම වැව කියන්කොට මතක් වෙන්නෙ සතීෂ් පෙරේරව.මං ආසම ගායකයෙක්.මොනව කරන්නද ඉතින්.)
              බැජ් හයික් එකෙදි "ගොඩයන්න" බැරි වෙච්ච එකේ මේකෙදිවත් මොනව හරි කර ගන්න ඕන.හැමදාම කාන්තාරවාසි වෙලා බෑනේ.ඔය සීගිරි පැත්තෙ ඉන්න කට්ටිය එහෙම පොඩ්ඩක් කියන්නලා.මූණු පොඩ්ඩ ඩිංගිත්තක් විතර පෙන්නල යන්න.ආ..එපාද.එපා නම් අපිටත් එපා.(ලොකු දෙයක්)

කට්ටියම එහෙනම් හෙට "පිසාචයා ගොඩයන්න කියලා විෂ් කරන්න ඕන හොඳේ".....පිසාචයට ජය වේවා...!!!

Thursday, April 12, 2012

අවුරුදු කුමාරය ආවෙ පිණිමුවා බැඳපු කරත්තෙකෙද .....?

          මහින්ද මාමට නම් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.කැම්පස් එකේ ඉඳන් ගෙදර එන්න බස් එකට දැන් රු.300යි තව මොනව හරි කෑවම 400යි.හරිම සංතෝෂජනකයි.ප්‍රීති බම්ප් වෙනව.
                                        ගෙවල් ගාවින් බහින කොට රෑ.10.00ට විතර ඇති."පිසාචයට බල්ලො පැනපි"කිව්වලු.මාස දෙකයි ගෙදර නෑවිත් ඉඳියේ,මං නොදන්න බල්ලොත් ගමේ බෝ වෙලානෙ.වටේ පිටේ මොනව තිබුණද මන්ද ඇස් නැති රට හිවලෙක් වගේ මැසේජ් කොට කොට ආවා,බයිසිකල් කාරයෙකුත්.."අඩෝ...පාර බලන් පල.." කියාගෙන ගියා.ගමේ මිනිස්සු මට කොච්චර ආදරේද බලන්න.


"ටක් ටක් ටක්.....කවුද ගෙදර...?
රාක්ෂයෙක්...මොකටද ආවෙ...?
අවුරුදු කන්න.....
දූපිය ආපු දිහාටම......"


"ඇරපිය දොර.
හා....."

නංගි වුණත් මට හරිම ආදරෙයි.

"මං හිතුව සුදු වෙලා, බෝල ගෙඩිය වෙල ඇති කියල.මොන....ඉඳිය තව හොඳයි"
අම්මත් මාව ආදරෙන් පිළිගත්ත.

"මට නිදිමතයි.මං දොයි"

එසැනින් මං කාමරේ.පැය දෙකක් විතර ෆිල්ම් බලල ඇදට පැනල කොට්ටෙත් විකාගෙන මං දොයිගත්ත.

පහුවද උදේ පාන්දර 10.00ට විතර ඇහැරුණා.ඇහැරුණා නෙවෙයි හරි නම් ඇහැරුවා.
"මෙච්චර උදේ මොකටද....."විතරයි කියන් හම්බුණේ.

කැරකි කැරකි ආපු මවුස් එක කටේ.

"අම්ම තේ බොන්නලු"

කැම්පස් එකේ පුරුද්දට රත්ගමය වගේ රු.7/= ක් දීල ටී එකක් ඉල්ලන්නත් හිතල, නෝන්ඩි වෙන්නෙ මොකටද කියල නිකන් හිටිය.

"ආන්...රං අයිය උඹව ඇහුව."
කවුද කිව්වෙ මං ආව කියල.
කවුරුවත් කියල නෑ.රෑ බල්ලො බුරන සද්දේ ඇහෙන් ඇති..."

ටිකක් දවල් වෙලා කාරිය එළියට බැස්ස.සිරාවටම ගමට නම් අවුරුදුය.ගෙයක් ගානෙ වෙසක් කූඩු එල්ලල.අපේ ගම එහෙම තමයි.මුදු කටේ ඉඳියට මුහුදට හත් ගව්වක් තියල සරම ගලවනව.
ඔහොම්ම යද්දි රෑ අහුවෙච්ච බල්ලො සැට් එක ඉස්සරහට ආව.කාල වරෙන්කො....මං හෙමිහිට එතනින් පල්ලම් බැහැල රං අයියගෙ ගෙට ගොඩ වුණා.
අම්මා....සුවඳ.හරියට කැවුම් බඳින සුවඳ වගේ.

"මොකෝ..කවදාවත් නැතුව අපිව මතක් වෙලා තියෙන්නෙ.."
නැන්ද එහෙම කියනකොට දෙන්න උත්තර ආවත් සද්දෙ වහන් හිටිය.

"මතක් වෙච්ච නිසානෙ මේ ආවෙ...මගේ රත්තරං නැන්දේ...."

"මයෙ වෙලාවට උඹට බාල කෙල්ලො මට නැත්තේ....අන්න රතු අක්ක නම් උඹ ගැන දවසක් දෙකක් මතක් කලා.දැන් කෝමෙයි ඉගෙන ගන්න වැඩ එහෙම,හොඳට කරනවයි."

"ආයිත් අහල..."

ඒ හරිය දන්නෙ මමනෙ.ගෙදර ඉඳන් මාළු ලෑල්ලක් දා ගත්ත නම් හොඳයි කියල හිතෙනව වෙලාවකට. මෙලෝ රහක් නැති කැන්ටින් කෑමත් එක්ක පේරාදෙණියම එපා වෙනව.
නැන්දට බම්බු ගහගන් කියල මං ගියා කුස්සිය පැත්තෙ.යනකොට රතු අක්ක වාඩි වෙලා කැවුම් හදනව.රහ කර කර කැවුම් කන්න නම් ගමේ එන්න ඕන.ගමට ආවට මදි කුස්සියටත් එන්න ඕන.
ගත්ත කැවුමක් හොරෙන්ම.චව්..චව්........

"මොකෝ..කැවුම් හැදුවෙ නැතෙයි ගෙදර....?"

මේකිට පිටිපස්සෙත් ඇස් තියෙනවද මන්ද .

"හැදුව හැදුව....ඒ වුණාට අනුන්ගෙ ගෙවල් වලින් හොරෙන් කන කොටනෙ රහ.."

කටට ආපු වචන සැට් එක එහෙම්ම අතෑරියා.මොනව හිතුවද මන්ද.

"කුමාරිහාමි කෙනෙක්ට එහෙම බැල්ම දැම්මෙ නැතෙයි...?"

තව බවුන්සර් එකක්.

"තමුසෙ දන්නවනේ...එකක්  කියල නෑනේ..."

ආරක්ෂාකාරි පහරක්.හානියක් නෑ.
ඇයි වදේ....මුන්ට මෙච්චරමද තියෙන්නෙ අහන්න.විභාග දවස් වලට අමාරුද අහනව.රිසාට් ආවම ෆේල්ද අහනව.ඕව තමයි.
"සිරාවට අහන්නෙ....කියනවකො හලෝ..."

"මොනව කියන්නද....නෑ හලෝ නෑ....ඒක නෙවෙයි තමුසෙව බලන්න අවුරුදු කුමාරයෙක් වැඩියෙ නැද්ද..."

මං හෙමීට බෝලෙ අනිත් පැත්තට මාරු කලා.

"ඇයි අම්ම කිවෙව් නැද්ද....එක්කෙනෙක් ආවනේ"

"පිණිමුවා බැඳපුකරත්තෙකෙද ආවෙ..."

"එහෙම එන්නෙ නත්තල් සීයනෙ හලෝ..."

"තමුසෙ බලන්න සීයල මිස කොල්ලො එන එකක්යැ..."


වැඩේ වරදින්න කලින් කුස්සිය පැත්තෙන්ම පැනල ආවා.එන ගමන් පේර ගෙඩි දෙකකටයි, අඹ වල්ලකටයි ඇහැ දීලයි ආවෙ.දැන් ඒව මගේ.
ගෙදර ඇවිල්ල කාලා එහෙමම නිදා ගත්ත.දැන් ඉතින් දැකපු හීන ගැන අහන්න එපා.ඒව ඒ.ඕ(A.O) නේ.
සිරාවටම ගෙදර තරම් මේ ලෝකෙ වෙන කොහේවත් හරියන් නෑ.ඒකෙ ආයි කතා දෙකක් නෑ. අනික අවුරුදු බලන්න නම් ගමේ එන්න ඕන.ටවුන් වල මොන අවුරුදුද.

Monday, April 02, 2012

මගේ හොස්ටල් ජීවිතේ සහ රෑට රෑට,,(සුලඟත් සුවඳයි හන්තානෙන් හමනා)

         හොස්ටල් ඉන්නව කියන්නෙත් එක විදියක අභියෝගයක්.ඒ වගේම සතුටක්.ඒ විතරක් නෙවෙයි ඒක ජීවිතේ විඳින්න පුළුවන් මාරම අත්දැකීමක්.අභීත අයිය,කතන්දර අයිය...ඇති තරම් හොස්ටල් සිද්දි ලියල තියෙනව.ගිහිල්ල බලන්න පුළුවන්....
        හොස්ටල් ඉන්නව කියන්නේ එක විදියක වාසියක්.තව වෙලාවක අවාසියක්.හැබැයි කියන්නම ඕන හොස්ටල් නොඉඳපු කැම්පස් ජීවිතේ කසාද නොබැදපු ගෑණියෙක් වගේ.මොකද හොස්ටල් ඉන්න එවුන් ගන්න ආතල් එක අනිත් එවුන්ට නොලැබෙන නිසයි.
                        මුල් මාස වල හොස්ටල් ඉන්න එක ටිකක් විතර ඇඟට ගුණ මදි ගතියක් තිබුණත් ඒ කට්ට කාගෙන ඉන්න එකත් මාරම ෆන්.අන්තිමට අපිට කතා කරන්න ඉතිරි වෙලා තියෙන්නෙත් ඒ ටික විතරයි.
"වෙල්කම්" එකෙන් පස්සෙ හොස්ටල් එක අපිට ලියල දීල වගේ.ඉන්ජොද,ආටොද, ඇග්‍රොද කියල නෑ...අහුවෙච්ච කාමරේක නිදා ගත්ත.හොස්ටල් ඉන්න එකේ ප්‍රධානම වාසිය වෙන්නේ මේ විදියට මුළු කැම්පස් එකේම එවුන් අඳුන ගන්න ලැබෙන එකයි.අනිත් අයට ඒකට ලැබෙන අවස්ථාව අඩුයි.
       විභාග තියෙන දවස් හොස්ටල් සෙට් එකම එකට එකතු වෙනව.බැරි එවුන්ට පුළුවන් එවුන් කියල දෙනව.කවුරු හරි එකෙක්ගෙ නැට්ට කැඩීගෙන එනව නම් තුන් හතර දෙනෙක් සෙට් වෙනව.සෙට් වෙලා මොන ගේමක් ගහල හරි අරූව තව පැයක් දෙකක් තියා ගනන්ව.ඌව නැගිට්ටවල තියා ගන්න මරු මරු වැඩ තමයි කරන්නේ.එක්කො වතුර  නාවනව.නැත්තම් කන් දෙකෙන් දුම් දානකම් දෙපැත්තට අඳිනව.ඒත් බැරි නම් හරහට දාල අත පය,පු%# හපාගෙන හපාගෙන යනව.අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
   අපේ සෙට් එකෙන් වැඩියෙන්ම ඒ විදියට දත් පාරවල් කාල තියෙන්නේ "පිසාචය" කියල කියන්නෙ මාරම ආඩම්බරයකින් ඔන්න.හික්ස්ස්.....
  හොස්ටල් නොඉඳ වෙන කොහේ  හරි ඉඳිය නම් මට හිතාගන්න බෑ ඇකඩමික් වැඩ කරගන්නේ කොහොමද කියලවත්.මගෙ කඩ්ඩ එච්චර පොලිශ් වෙලත් නැති එකේ අනේ මන්ද.....ඒ අතින් නම් අපේ කොල්ලො ටික මට හෙන හයියක්.

ෆැකල්ටියෙ මොකක් හරි වැඩක් යෙදුණොත් ඒක මුලින්ම කියන්නෙත් අපිට.ඒකට බැහැල වැඩ කරන්නෙත් අපි ටික.පුළුවන් තරම් කට්ට කාලා අන්තිමට එක එක කතා අහගන්නෙත් අපි ටික.ඒත් කමක් නෑ,ෆැකල්ටියෙ නම තියෙන තැනට අපි වැඩ කලා කියල සතුටු වෙන්න පුළුවන්නෙ.

කෙල්ලොන්ගෙ හොස්ටල් වගේ නෙමෙයි,අපේ ඒවට ඕන වෙලාවක එන්න පුළුවන් ඕන වෙලාවක යන්න පුළුවන්,ඕන කෙනෙක්ට එන්න පුළුවන්.කෙල්ලොන්ගෙ එහෙම නෑ.සිකියුරිටිල දාල ඉන්නෙ.අනිත් එක එලියට ගියපු අය එන්නෙ 8.30ට පස්සෙ නම් යනකොට ලේට් පාස් දන්න ඕන.නැත්තම් හෙන අවුල්.අපිට මොන ලේට් පාස්ද.සබ්වෝඩ්න්(සබා) දන්නෙත් නැතුව ඇති මෙහෙම එකෙක් මේක ඇතුලෙ ඉන්නවය කියල.

ඔන්න එකපාරටම හිතෙනව රවුමක් දාල එන්න ඕනය කියල.ඇඳගෙන ඉන්න ෂෝටට උඩින් දිගක් දාගන්නව සෙට් එකම එලියට බහිනව.කැම්පස් එක ඇතුලෙ ෂෝටක්වත් සරමක්වත් අඳින්න බෑ,දිග කලිසම් විතරයි.
ඉතින් එහෙම බැහැල හිතිච්ච පැත්තකට යනව.එක්කො ගම්පොල පාරේ උඩහට යනව.නැත්තම් ආපහු පේරාදෙණිය පැත්තට ගිහිල්ල මුස්ලිම් කඩේකින් කොත්තුවක් හරි රයිස් එකක් හරි දා ගන්නව.
  අක්බාර් පාලම රෑට හරිම ලස්සනයි.විශේෂයෙන්ම පෝය දවස් වලට.වැඩියෙන්ම ලස්සන පෝයට කලින් දවසෙ රෑ.පුරුද්දක් විදියට එතන්ට ගිහිල්ල පාලම් බැම්මෙ වාඩි වෙලා ඔහේ කයියක් ගහන් ඉන්න එක තරම් ජොලියක් තව කොහෙද.
 
හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න......//

ආයිත් අහල .පට්ටම ලස්සනයි.එක පැත්තකින් හන්තාන කඳු ටික.අනිත් පැත්තෙන් හොල්මන් වගේ හිටගෙන ඉන්න අමුතු අමුතු හැඩේ ගස්.පල්ලෙහායින් සද්ද නැතුව ගලන මහවැලිය.පිස්සු හැදෙනව.

ඔන්න ඔය විදියට කැම්පස් ජීවිතෙ ගෙවෙනව.මොන පිස්සුව නැටුවත් කැම්පස් ආවෙ මොකටද කියල අමතක කරලත් නෑ.ඒ වැඩත් කම්මැලි නොවී කරනව.මගේ හීන වගේම අම්ම තාත්තගෙන් හීනත් තියෙනව.ඒව ඉටු කරන්න ඕන.

එහෙනම් ඉක්මනින්ම නැවත හමු වෙමු....!!!!

Wednesday, March 28, 2012

මෝඩ පන්හිඳකිය මෙමං...




සඳළුතලයට නෑගමන් විත් සුරගනන් බසිනා පැයේ
නිවුණු දැල්වුණු හීන අතරේ ඔබෙ නමත් ලියවී තියේ
කවුළුපත් ලඟ දොඩමළුව එන දුඹුරු නයනැති නයනියේ
කඳුළු අහවර පුංචි කවියක එලිවැටට තව කල් තියේ


නොදන්නව වගේ මගේ හිත ලඟ කරන ඔය දඟකාරකම්
හිලව්වට මට දෙන්නෙ මොනවද  හිතන්නකො දැන්වත් ඉතින්
සතුට ඉහිරන පිරී ඉතිරෙන තින්ත කුප්පිය ඔයා  නම්
ඔයා නැතිදා ලියන්නට බැරි මෝඩ පන්හිඳකිය මෙමං


                   විභාගෙ නම් යන්තම් ඉවරයි.මොලේ ලේ කැටියක් හිර වෙලා තිබිල දිය වෙලා ගියා වගේ තමයි දැන් නම් දැනෙන්නේ.බ්ලොග් එක පැත්තෙ එන එක හුඟක්ම අඩු වුණා කෙහෙම්මල් විභාගයක් නිසා.අවුලක් ගන්න එපා.ඒවටත් හරියන්න හෙට ඉඳන් වෙඩිල්ල වගේ ලියා ගෙන ලියාගෙන ලියාගෙන යනව.(ඒ කිව්වෙ ගොඩක්)
          ලියන්න ගොඩාක් දේවල් තියෙනව.කොහෙන් පටන් ගන්නද කියල හිතා ගන්න බෑ.කමක් නෑ කොහෙන් හරි පටන් ගන්නම්කො.කියවන එක ඔයාලට භාරයි.සමහර ඒව නම් ගොංපාට් වගෙ වෙයි.කමක් නෑ......එහෙනම් ගොහිල්ල එන්නම්....

(කවි දෙක ගැන වැඩිය හිතන් එපා.නිදිමත විකාරෙන් කිව්වේ...නෑ නෑ..ලිව්වෙ...)


Wednesday, March 14, 2012

මේ දෑස මගේ පිංවන්තයි......

   පේරදෙණිය කැම්පස් එක බලන්න එනව  නම් මේ තමයි කාලෙ.හැමතැනම හරිම ලස්සනයි.දිව්‍ය ලෝකයක් වගේ.
  කියන්න දෙයක් නෑ.පල්ලෙහා පොටෝ ටික බලලම හිතා ගන්නකො.
මල් පාවඩ උඩින් උදේ හවස යනව එනව කියන්නෙ මාරම දෙයක්.මේ දවස් වල අපිට විභාග.කොච්චර පීඩනයක් හිත ඇතුලෙ තිබුණත් ෆැකල්ටියෙන් එළියට බැහැල වට පිට ටිකක් බැලුවම හිත මාර විදියට නිවෙනව.
පහල පොටෝ එකක්වත් මං අර ගත්ත ඒව නෙවෙයි.මගේ යාළුවො ගත්ත ඒව.ඒ අයගෙ අවසරය උඩ මේ දාන්නේ.ඒව බලල රස විඳින්න.නිව්වාඩුවක් එහෙම තියෙනව නම් මේ පැත්තෙත් ඇවිල්ල යන්න එන්න.






මේ වගෙ තව ලස්සන පොටෝ ගොඩා...ක් තියෙනව.ඉඩ ලැබෙන විදියට දානවා.