Saturday, April 23, 2011

මං එනතුරු ඉන්නවාද....

         මාගේ හදවත වඩාත්ම කම්පිත කල,හදවතතට තදින්ම දැනුනු ගීතය කුමක්දැයි කවුරුන් හෝ මාගෙන්  විමසුවොත් මාගේ ඍජු පිළිතුර වනු ඇත්තේ,ගුණදාස කපුගේ ශුරීන්ගේ  "දවසක් පැල නැති හේනේ "ගීතයයි.

     මේ ගීතය සමග මාගේ පුද්ගලික අත්දැකීමක් එක්ව නොයනමුත් ගීතය ඇසු විගසින් මා එහි ප්‍රධාන චරිතය බවට පත් වන්නේ නිරායාසයෙනි.එතරම්ම මෙහි පද රචනාවත් තනුවත් සංගීතයත් ගායනයත් ඉතා ඉහලම මට්ටමක පවතී.වර්තමාන ගී පද රචකයන් අතර ඉහල තැනක සිටින වසන්ත දුක්ගන්නාරාළට අනුව නම් මෙම ගීතය සිංහල සම්භාව්‍ය ගීතයේ අග්‍ර ඵලයයි.
   මෙම ගීතයේ පද රචනාව දෙස විමසිලිවන්තව දෙනෙත් යොමු කළහොත් ඔබට පෙනේවි,මෙහි එකදු අරුත්සුන් වදනක් හෝ නොමැති බව.නමුත් නුපුහුණු දෑසකට සමහරවිට  එය ප්‍රශ්නාරතයක්  වනු ඇත.

           දවසක් පැල නැති හේනේ
           අකාල මහා වැසි වැස්සා.....
           තුරුළේ හංගාගෙන මා
           ඔබ තෙමුනා අම්මේ.........
           පායන තුරු හිටි පියවර
           හිටියා ඔබ අම්මේ.............


          නුවර වීදි යට කර ගෙන
          නින්දා වැහි වැගුරුන දා
          බිරිඳකගේ සෙනහෙ ගියා
          යෝධ ඇලේ නැම්මේ ....
        
          ඔබේ සෙනෙහස සුවද දිදී
          දැනුනා මට අම්මේ............//


         කොළඹ අහස කළු කරගෙන
         මුදු හුලග හඩලන කොට
         ඔටුන්න බිම දා දුවගෙන
         එන්නද එක පිම්මේ.....

        මං එනතුරු ඉදිකඩ ලඟ
        ඉන්නවාද අම්මේ.....  ///

    
             හේනකදී අපගේ පිහිටට ,සෙවනට ඇත්තේ කුඩා පැල පමණි.එය වැස්සෙන්ද සුලගෙන්ද අපව
   ආරක්ෂා කරයි.මේ අයුරින්ම පවුලක ආරක්ෂාවට,පිහිටට ඉන්නේ ආදරණීය පියාණන්ය.ඉතින් පියා නොමැති පවුල පැල නැති හේනක් නොවේද.....
          මෙවන් පවුලකට එන බාධක හිරිහැර දුෂ්කරතා අපමණය.ඒවා හරියටම අකාල මහ වැසි මෙන් නොවන්නේද.......ඒ සියලු බාධක දයාබර අම්මා විසින් තනිවම විද දරාගන්නේ ඉන් බිදක් හෝ සිය පුතුට නොදැනෙන ලෙසිනි."තුරුළේ හංගාගෙන මා ඔබ තෙමුන අම්මේ..'' ගී පද රචකයා එය අපට කියන අපුරුව විශ්මයජනක නොවන්නේද....
         ඒ සියලු දුෂ්කරතා නිමාවනතුරු ඒකායන අධිෂ්ඨානයෙන් හා වීර්යයයෙන් අම්මා ක්‍රියා කරන අයුරු ඔහු දකින්නේ කෙසේද.....
   ''පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ...."

     සියලු දුක් කරදර  මැදින්  පුතා  හොදින් ඉගෙන ගනියි.ඉන්පසු ඔහු ඉතා සාමාන්‍ය ගැමි තරුණයෙකු සේ නගරයට ප්‍රවිෂ්ඨ වේ.ඔහු නගරයේදී හමුවන නාගරික යුවතියක හා විවාහ වෙයි.තවමත් අම්මා සිටින්නේ ගමේයි.මේ අතරතුර ඔහු රැකියාවෙන්ද සැලකිය යුතු දියුණුවක් ලබයි.
     නමුත් සියල්ල එක් වර කණපිට හැරෙන්නට ගනියි.ඔහුගේ රැකියා ස්ථානයේ  ඔහු අවමානයට පත් වේ.ඔහු ක්‍රමයෙන් නින්දා ලබන්නෙකු බවට පත්වේ.
 "නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගුරුන දා..."

  මෙසේ ඔහු රැකියා ස්ථානයෙන් සමාජයෙන් අවමන් ලබද්දී ඔහු ප්‍රාර්ථනා කරන සිය බිරිදගේ සහයද ආදරයද ඔහු‍ට නොලැබී යයි.එය සිදුවන්නේ එක් වර නොවේ.ටිකෙන් ටිකය.මේ සදහා ගත හැකි වඩාත්ම උචිත උපමේය ගී පද රචකයා විසින් හසුකොටගෙන තිබේ.එනම් යෝධ ඇලයි.අප  කවුරුත් දන්නා පරිදි යෝධ ඇළෙහි වතුර ගලා යනමුත් එය ගලා බසින බවක් අපට නොපෙනේ.එහි නැම්ම නැතහොත් බැස්ම එතරම්ම සියුම්ය.මෙහි එන බිරිදගේ ආදරය අඩු වී යන්නේද එලෙසින්මය.ආදරය අඩු වන බව එක් වර නොපෙනෙයි.නමුත් එය අඩුවේ.
"බිරිදකගේ සෙනේ ගියා යෝධ ඇලේ නැම්මේ.."
         එවන් මොහොතක කතාවේ ප්‍රධාන  චරිතයට සිහිවන්නේ තම මෑණියන්ගේ ආදරබර සුවදයි.ඇගේ කරුනාවයි.ඇගේ සෙනෙහසයි.
    "ඔබේ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ....."


       මොහු දැන් නගරය අප්‍රිය කරයි.ඔහුට කොළඹ නගරය අපායකි.එකම කාලගෝට්ටියක් ලෙස එය  ඔහුට පෙනෙයි.අහස කළු කරද්දී ඔහු තවත් මානසිකව ඇද වැටෙයි.එපමණක් නොවේ. මුහුදු හුලග ඔහුට දැනෙන්නේ ඔහු වට කර ගත් අග්නි දාහයක් මෙන්ය.අන්ත අසරණ වී සිටින ඔහුට සිහිවන එකම පිහිට ඔහුගේ මව පමණයි.සියලු සම්පත් අත්හැර ඔහු මව වෙත යන්නට සැරසෙයි....
      "ඔටුන්න බිම දා දුවගෙන එන්නද එක පිම්මේ...."

ගී පද රචකයාගේ සිතිවිලි එලෙසින්ම අපගේ හදවතට   ගෙනෙන්නට තනුවත් සංගීතයත් එක ලෙස දායක  වේ.
     ගුණදාස කපුගේ ශුරීන්ගේ ඒ ගැඹුරු කටහඬ විසින්  දශක දෙකකටත් වඩා වැඩි කාලයක් තිස්සේ අප සවන්  වෙත  නොවෙනස්ව    ගෙන ආ මේ ගීතය කෙතරම් සුවිශේෂී නොවන්නේද.....කෙතරම් විශිෂ්ඨ නොවන්නේද....
  එහි අරුතත් හිතෙහි තබා ගෙන තව වරක්නොව කිහිප වරක් මෙය රසවිද බලන්න.කෙතරම් එය අපුරුද කියා.......

Download The Audio 

4 comments:

  1. නියමයි මල්ලි... රන්බණ්ඩා සෙනෙවිරත්න ශූරින්ගේ අතින් පබැදුන විශිෂ්ට පදවැල් වලට කපුගේ ශූරින්ගේ කටහඩ එකතුවීමෙන් නිමවුනු විශිෂ්ට නිර්මාණයක්..... මම හරි නම් මල්ලිගේ පරම්පරාවේ ගොඩක් අය අහන්නේ අරුතක් නැති නිකම්ම නිකම් වචන ටිකකට නැඟලා යනවා කියලා කියන තනුවක් දාලා ඔහේ කියලා සල්ලි හොයන්න උත්සහකරන ව්‍යාපාරිකයින්ගේ ගීත. ඒ අතරේ උඹ වගේ උන් ඉතිරුවෙලා ඉන්නවා දකින කොටත් හිතට සතුටුයි......

    ReplyDelete
  2. ස්තුතියි..අයියේ.
    මට මේකේ රචකයා ටිකක් අමතකෙලා තිබුනේ.රත්න ශ්‍රී ද කියලත් හිතුන.පස්සේ කෝකටත් කියල නොදාම හිටිය.
    මතක් කරලා දුන්නටත් ස්තුතියි......!!!

    ReplyDelete
  3. ඔය ගීතය ඇහෙන වාරයක් වාරයක් පස මගේ පපුවේ ගුලියක් හිර වෙනවා අම්ම මතක් වෙලා.. අපේ අම්මත් මන් එනකන් බලාගෙන හිටිය තැනදී තමයි මම අන්තිමට පණපිටින් දැක්කේ.. .. අම්ම එතැන් ඉඳගෙන මන් නොපෙනී යනකන් ඉඳල හැමදාම කඳුළු පිහ පිහ තමයි ගෙට ගියේ .. ඔටුන්න බිම දා දුවගෙන ලඟට එන්න අම්මා දැන් එතැන් නැහැ..

    ReplyDelete
  4. මට නං අම්මගෙ ආදරේ ගැන කියන්න ඒ තරම්ම අත්දැකීම් නෑ . . . .ඒත් පුදුම විදියට හදවතට දැනෙන ගීතයක්. නීතීඥ රංබණ්ඩා සෙනෙවිරත්න කියන්නෙ මම පුද්ගලයෙක් විදියට එච්චරම කැමැත්තක් නැති කෙනෙක් උනත් ගීත රචකයෙක් විදියට මම ඉතාම කැමති මනුස්සයෙක්. නීතීඥ රංබණ්ඩා සෙනෙවිරත්න මහත්මයාගේ ගීත රචනා වලට ගුනදාස කපුගේ අතින් තරමට සාදාරනයක් වෙනත් කිසිම ගායකයෙකුගෙන් ඉ‍ටු නොවුන තරම්. මේ ගීතයට උනත් කපුගේ සතු ඒ අපූර්ව ශෝකාකූල කටහඬ එකතු කරන්නෙ වචනයෙන් විස්තර කරන්න අමාරු තරමේ සුන්දරත්වයක් . . . . .

    ReplyDelete